Thursday 2nd of July 2026

English Tamil
Advertiesment


ගොවියා කබලෙන් ලිපට ඇද දැමූ රජය ගොවි ජනයාගේ පරම්පරාවටත් නින්දිත අවලාද නගනවා


2026-07-02 1247

 

 - විපක්ෂ නායක - 

 

ගැටලු රැසක් මැද ගොවිතැන කරන ගොවියා සශ්‍රීක කර ගොවියා රජ කරවනවා කියූ වත්මන් රජය අද ගොවියා අපාය කරා ගෙනයන වැඩපිළිවෙළක් ශීඝ්‍රගාමී ලෙස ක්‍රියාත්මක කරන බවත් ගොවියා මුහුණ දෙන ගැටලු ප්‍රශ්නවලට උත්තර විසදුම් නොමැති වුවත් එදා විපක්ෂයේ සිටින විට මඩ සෝදාගත් කළ ගොවියා රජකමට සුදුසු යැයි පැවසුවත් දැන් මඩ සෝදා ගත් කළ ගොවියා රජකමට සුදුසු වන්නේ උප්පත්තිය අනුව බවට රජයේ ඇමතිවරු අපහාස අවලාද කරමින් යන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ වත්මන් රජය ගොවි ජනතාවට සිදු කරන අපහාස සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරමින් විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

ජනතා විමුක්ති පෙරමුණ බිහි වූයේ සමාජ පීඩනයට විරුද්ධව, ජීවන ගමනේ ඇතිවන පීඩනයට විරුද්ධව වුවත් දැන් මඩ සෝදා ගත් කළ ගොවියා රජ කමට සුදුසු වන්නේ උප්පත්තිය අනුව කියා ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ ඔවුන්ගේ නිර්ප්‍රභූ දේශපාලනය නිසාද කියා ප්‍රශ්න කරන බවත් මෙවැනි මෝඩ කතා කියන අයට එම කතා නොකියන ලෙස ඉල්ලා සිටින බවත් ගොවියා කසිප්පුකාරයා, කෘත්‍රීම ගොවියා යැයි අපහාස කර දැන් ගොවියාගේ උප්පත්තිය ගැන කියමින් ගොවියාට අපහාස උපහාස අවලාද සිදු කරන බවත් මොවුන් දැන් ගොවියාට අපහාස කරන්නේ පාර්ලිමේන්තුවේ 159ක බහුතරයක් සහ ජනාධිපතිකමත් පළාත් පාලන ආයතන රැසක බහුතර බලයත් ලබා ගත් පසුව බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

 

දෙනව කිව්ව ස්ථාවර මිලත් අද නැත

 

වත්මන් රජය දිගින් දිගටම අප රටේ ගොවි ජනතාව, ගොවිතැන විනාශ කරමින් ගොවිතැනේ නියැලෙන ජනතාව හෑල්ලුවට ලක් කරන බවත් වී ගොවියාට අවශ්‍ය පොහොර, බීජ, රසායනික පොහොර, වල් නාශක හා කෘමිනාශක ආදිය දරාගත හැකි මිලකට ගොවියාට ලබා නොදී ගොවියා කබලෙන් ලිපට ඇද දමා අවසන් බවත් අලි මිනිස් ගැටුමට විසදුමක් නොමැති වීම මෙන්ම ගැටලු මැද වී ගොවිතැන කළත් වී සඳහා ස්ථාවර මිලක් පවා නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

 

රජයට ගොවියා පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් වටින්නේ නැත

 

වී ගොවියා සිය අස්වැන්න සඳහා ස්ථාවර මිලක් ඉල්ලා සිටින විට ඇමතිවරු තර්ජනය කරමින් යන බවත් විපක්ෂයේ සිටින විට ගොවියා පසුපස ගොස් ගොයම් කකා වී කිලෝවක සඳහා රු. 150ක් දෙනවා යැයි කියූ මේ අය ඇමතිකම් සහ බලය ලබා ගෙන පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් ගොවියා ගණන් ගන්නේ නැති බවත් මේ වන විට වී ගොවියා පමණක් නොව අල ගොවියාට පවා ගැටලු රැසක් ඇති නිසා ඔවුන් අල වගාවෙන් පවා ඉවත්ව ඇති බවත්‌ මේ වන විට කිලෝ 50ක බී අල රු.37500ක් ද දේශීය බීජ අල කිලෝ 50ක් 24000ක් වී ඇති බවත් ඊට අමතරව දෙවතාවක් පොහොර දමන්න සිදු වුවත් පොහොර මිටියක් රු. 8500-9000ක් වීමත් දිලීර නාශක ආදිය කිලෝවක් රු. 2000ක් විම ආදී ගැටලු ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

 

රටේ අස්වැන්න නෙළන කාලයට පිටරටින් ලූණූ ගේන රජයක් තමයි මාලිමාව

 

මේ යෙදවුම්වල මිල ඉහළ යාම නිසා අල කිලෝවක් නිෂ්පාදනයට රු.220ක් යන ගියත් අද අල කිලෝවක් වෙළෙදපොළේ යන්නේ රු.195-205 අතර බවත් ගොවියා අල වගාව කරන්නේ පාඩු ලබමින් නිසා බොහෝ දෙනා අල වගාවෙන් ඉවත්ව ඇති බවත් ලොකු ලූණු ගොවියාට පවා මේ ගැටලු ඇති බවත් ලොකු ලූණු අස්වන්න නෙළන කාලයට පිටරටින් ලූණු ගෙන්වන රජයක් අප රටේ ඇති බවත් අද වෙළෙදපොළේ ඇත්තේ රට ලූණු බවත් එය රු. 180ක් වුවත් දේශීය ලූණු ගොවියාට අද වෙළෙදපොළේ තැනක් නැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

 

පළාත් සභා මැතිවරණය තිබ්බ නම් කවුද රජා කියලා දැන ගන්න පුළුවන්

 

මෙරට ජනතාවට තමන්ගේ මතය ඉදිරිපත් කරන්න වහාම පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස ඉල්ලා සිටින බවත් එවිට රජකමට සුදුසු ජවිපේ ද නැත්නම් සැබවින්ම පොදුජනතාව සමඟ සිටගන්නා දේශපාලන ව්‍යාපාරය ද කියා දැන ගැනීමට හැකි බවත් දැන්වත් ගොවියාට අපහාස කිරීමෙන් වළකින ලෙසත් මේ අපහාස සිදු කරන්න පෙර තමන්ට බලය ලබා දුන්නේ කවුද කියා බලන ලෙසත් ගොවියා මුහුණදෙන ගැටලුවලට රජයට විසදුම් දෙන්න බැරි නම් රටේ ජනතාව මුහුණ දෙන සාධනීය ගැටලුවලට සත්‍යවාදී යථාර්ථවාදී ප්‍රායෝගික ප්‍රගතිශීලී විසදුම් ලබා දෙන්න සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment